ටෙලි නාට්‍ය කලාව මේ විදිහම නම් මාව ආයෙත් දකින්න ලැබෙන එකක් නෑ - සේමිණි ඉද්දමල්ගොඩ

Jan 27, 2014

මෙගා නාට්‍යවලට මගේ කාලය කා දමන්න කැමැති නෑ.වැඩිපුර පෙනෙන්නට නොලැබුණත් ඇයට තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය නම් අඩුවක් නැහැ. විවිධ චරිතයන් ඔස්සේ ප්‍රේක්ෂකයාගේ මතකය ඇද බැඳ ගැනීමට සමත් වූ ඇය නමින් සේමිණී ඉද්දමල්ගොඩ.



මේ දවස්වල වැඩිය පේන්න නැත්තේ ඇයි?
මම වසර 4කින් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. නැහැ. ඒ නිසයි වැඩිය පේන්න නැත්තේ. 

එයට විශේෂ හේතුවක් තියෙනවාද?
මම මේ දැන් තියෙන ටෙලි නාට්‍ය ප්‍රවණතාවට කැමැති නැහැ. ඒක තමයි හේතුව. ඒ නිසා මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉදිරියේදී මේ ප්‍රවණතාවය තිබුණොත් දිගටම මම ටෙලි නාට්‍යවලින් දකින්න නොලැබේවි. 

ඔබ තවත් නිළියකට අභියෝගයක්ද?
කොහෙත්ම නැහැ. කවුරුත් කාටවත් අභියෝගයක් නොවෙයි. තමන් අභියෝගයක් විය යුත්තේ තමන්ටමයි.

කටකතා ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
ජනප්‍රිය පුද්ගලයන් ඉලක්ක කරගෙන කටකතා හැදෙනවා. ඒවාට කලබල විය යුතු නැහැ. එහෙම කතාවක් නොහැදෙන ලෙසට පරිස්සම් විය යුතුයි. 

සේමිණී ගොඩක් විලාසිතාවලට බරද?
මම විලාසිතාවලට කැමැතියි. මගේ ශරීරයේ හැඩය අනුව මම විලාසිතා කරනවා. නමුත් අනවශ්‍ය විදියට ‍නෙවෙයි. පුද්ගලයන් විලාසිතා කළාට කමක් නැහැ. වයසට, දේශගුණයට, සිරුරේ, හැඩයට සමේ පාටට ගැළපෙන ලෙස විලාසිතා කළාට වරදක් නැහැ. 

ක්ෂේත්‍රයේ අලුත් තරුණ මුහුණු රැසක් සිටියදී ඔබට පෙම්වතියකගේ චරිතය ලැබුණොත්?
අනිවාර්යයෙන් මම ඒ චරිතය භාරගන්නවා. ඒ චරිතයට අවශ්‍ය ලෙස මම හැඩ ගැහෙනවා. මම දන්නවා මම ටිකක් කෙට්ටු වුණොත් පාසල් ශිෂ්‍යාවකගේ චරිතය වුණත් රඟපාන්න පුළුවන් කියලා. 

ඔබේ රූපය රැකගැනීමට ගොඩක් වෙහෙසෙනවාද?
නැහැ. මම ආහාර පාලනය කරනවා. වැඩිපුර වතුර බෙනවා.  පලතුරු ආහාරයට ගන්නවා. මම දැකලා තියෙනවා තරුණ ගැහැනු ළමයිගෙ වයසට වඩා පෙනුමක් එයාලගෙන් පේන්න තියෙනවා. එහෙම විය යුතු නැහැ. කවුරුත් කැමැතියි රූපය ලස්සනට තියා ගන්න. ඒ වෙනුවෙන් ටිකක් කාලය වැයකළාට වැරැද්දක් වෙන්නේ නැහැ. 

ඔබ රංගන ක්ෂේත්‍රයට පැමිණි පසු ඔබට අහිමි වූ දේවල් තියෙනවද?
නැහැ. කිසිම දෙයක් මට අහිමිවෙලා නැහැ. 

ජීවිතයේදී ඔබ ගත්ත තීරණ නිසි කාලයට අරගෙන තියෙනවද? නැත්නම් පසුතැවිල්ලක්ද ඒ පිළිබඳ තියෙන්නේ?
මම ගත්ත තීරණ හරියටම අරන් තිබෙනවා. ගත්ත හැම තීරණයක්ම අද වෙනකම් වැරදිලා නැහැ. කාටවත් වරද්දන්වත් බැහැ. 

මෙගා නාට්‍ය ගැන මොකක්ද හිතෙන්නේ?
මම දකින විදිහට මෙගා නාට්‍යය තුළ ගැඹුරක් ඇති චරිත නැහැ. ප්‍රවීණ රංගන ශිල්පීන් ඇතැම් විට එවැනි ගැඹුරු චරිතවල ඉන්නවා. නමුත් මට ඒ පිළිබඳව සෑහීමක පත්වෙන්න අමාරුයි. ඒ නිසා ඒ වගේ මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙලා කාලය නාස්ති කරන්න මම කැමැති නැහැ. 

ඔබට දේශපාලන පක්ෂයකින් ආරාධනාවක් ලැබුණොත් දේශපාලන වේදිකාවට එන්න කියලා?
මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. මට ස්වයං දේශපාලනයේ යෙදෙනවා. ඒ හැරෙනන්ට මම කිසිදු පක්ෂයකට එන්නේ නැහැ. 

ජනප්‍රියත්වය කරදරයක්ද?
නැහැ. කොහෙත්ම නැහැ. එය මට ආශිර්වාදයක්. 

ඔබ හිතනවද කලාකරුවන්ට නිසි ඇගයීමක් ලැබෙනවා කියලා?
ඒක ගැන කියන්න මම දන්නේ නැහැ. මට නම් ප්‍රේක්ෂකයාගේ ඇගයීම ලැබෙනවා. මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම වසර 4කින් ටෙලි නාට්‍යයකට රඟපාලා නැති වුණාට මට රසිකයන්ගේ ආදරය ලැබෙනවා. ඒ පිළිබඳව මම තෘප්තිමත්. 

ඔබ රංගනයෙදී හා සාමාන්‍ය ජීවිතයේදී චරිත දෙක්කද?
පැහැදිවම ඔව්. රංගනයේ යෙදෙන විට එය රංගනයක් පමණයි. සාමාන්‍ය ජීවිතයේදී මම රඟපාන්නේ නැහැ. මට නිදහස ඕනෑ තරම් තිබෙනවා. මම සාමාන්‍ය කෙනෙක් විදිහටයි ජීවත් වෙන්නේ. 

ටෙලිනාට්‍ය හරහා ඔබව නොපෙනුණත් චිත්‍රපට හරහා ඔබව දැකබලා ගැනීමට පුළුවන්ද?
ඔව්. මම චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදී තිරගත වේවි. ටෙලි නාට්‍යවලට මෑතකදී සම්බන්ධ නොවුණත් මම රඟපෑ ටෙලි නාට්‍ය ගණනාවක් තිබෙනවා. ඒවා යථා කාලයේදී ප්‍රේක්ෂකයන්ට රසවිඳිය හැකියි. මොහාන් නියාස් මහත්තයාගේ සනත් ගුණතිලක මහත්තයාගේ ශීවගුරුනාදන් මහත්තයාගේ මෙන්ම ප්‍රසන්න ජයකොඩි මහත්තයාගේ චිත්‍රපට හරහා ඉදිරියේදී මම ප්‍රේක්ෂකයා අතරට පැමිණෙනවා. 

සමුදිකා සේනානී හීන්පැල්ල
Rivira Paper
Chinthaka. Powered by Blogger.