ගුරුවරියන් හා සිසුවියන් ගණිකා වෘත්තියේ

Jun 14, 2013

ගුරුවරියෝ දැරියන් ගණිකා වෘත්තියේ යොදවලා..
දිස්ත්‍රික් කමිටුවේදී හෙළිවේ..
සිසුවියන් ගැබ් අරන්..

මාත‍ලේ නගරයේ එක්තරා උසස් පාසලක සිසු දැරියන් ගණිකා වෘත්තියේ යෙදවූ ගුරුවරියන් කීප දෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වන බව ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් ඊයේ (13) දා මාත‍ලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට වාර්තා කළේය.


මෙම පාස‍ලේ ගුරුවරියන් පස් දෙනකු ගණිකා වෘත්තියේ යෙදෙමින් සිසු දැරියන්ද ගණිකා වෘත්තියට ඇද දැමීමේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති බවට චෝදනා කළ සභාපතිවරයා බාලවයස්කාර සිසුවියක අසම්මත  ලිංගික හැසිරීමකට යොදා ගැනීමේ සිද්ධියක් මෙම පාසලෙන්ම වාර්තා වී ඇති නමුත් මෙම පාස‍ලේ විදුහල්පතිවරිය අපයෝජන ක්‍රියා නොසලකා දරුවන් විනාශයට යොමු කරමින් සිටින බවටද චෝදනා කළේය.
බාලවයස්කාර සිසුවිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මාත‍ලේ කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා කමිටුවට දන්වා සිටි අතර, මෙම විදුහ‍ලේ වර්තමාන තත්ත්වය පිළිබඳ  පාර්ලිමේන්තුවේ  අධ්‍යාපන  උපදේශක කමිටුව සහ ඇමැතිවරයා දැනුම්වත්කර ඇති බව දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටුවේ සභාපති  නීතිඥ  ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවැසීය.

මෙම පාස‍ලේ විදුහල්පතිවරිය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහ පාස‍ලේ කීර්ති නාමය රැක ගැනීමේ අවශ්‍යතාව ඇති බැවින් මෙම විදුහල්පතිවරිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්වත් කර තීරණයක් ලබා ගැනීමටත් කමිටුව තීරණය කළේය. මෙම පාස‍ලේ සිසු දැරියන් කීප දෙනෙකු ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳව මෙම අවස්ථාවේදී  කරුණු හෙළි කෙරුනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.එහි සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළේ, මාතලේ තම නිළධාරීන් මාර්ගයෙන් එම පරීක්ෂණ සිදුකරන බවයි.

0 comments

Post a Comment

Chinthaka. Powered by Blogger.